ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් වෙතට ළඟා වී තිබේ.

“අම්ෆන“ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට මෙම බහුදින ධීවර යාත්‍රාවන් පසුගිය දා ගසාගෙන ගොස් ඇත.

මේ වන විට එම යාත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනඟා ගැනීමට සමත්ව සිටින බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකාවට අයත් මෙම බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා ඊයේ(21) දින පිටත් කර යැවීමට කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ඔවුන්ට අවශ්‍ය සියලූම සහායන් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.

තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාල ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මඟින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලූම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබන බවද සඳහන් වෙයි.

(File image)