අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම ධීවර යාත්‍රා ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති බව සඳහන්ය.

අදාළ ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් මෙන්ම ඉන්දීය බලධාරීන් ද දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව එම ධීවරයින් මෙරටට ළඟා වීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු යෙදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.