මෙතෙක් මෙරට ඉදිකර ඇති විශාලතම ක‍්‍රිකට් කී‍්‍රඩාංගනය හෝමාගම දියගම ඉදිකරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය ඉරිදා දිනයේ දී ප‍්‍රකාශ කර තිබුණි.

ඊට ප‍්‍රතිචාර දක්වමින්, හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන අසා තිබුණේ, දැනටමත් ප‍්‍රමාණවත් තරමට කී‍්‍රඩාංගන පවතිද්දී, සහ එම කී‍්‍රඩාංගන වල ක‍්‍රීඩා කිරීමට අවශ්‍ය තරමට තරග නොලැබෙන තත්ත්වයක් තුළ අළුතින්, විශාල මුදලක් වැය කර ක‍්‍රීඩාංගනයක් ඉදිකිරීමට යාම විහිළුවක් බවයි.

මහේලගේ එම ස්ථාවයට එරෙහිව යමින්, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසා ඇත්තේ, එළැඹෙන ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව, තමන් මෙම ක‍්‍රීඩාංගනය ඉදිකිරීමට තීරණය කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ එම ස්ථාවරය ද හිටපු කණ්ඩායම් නායකයාගේ විවේචනයට ලක් විය.

මුලින්ම කළ යුත්තේ, ලෝක කුසලානය සදහා සත්කාරකත්වය, ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම බව මහේල පවසයි. එම අවස්ථාව ලැබුනොත්, අවශ්‍ය යටිතල පහසුකම් ගොඩ නැංවීම සදහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අනුග‍්‍රහය ලබා ගත හැකි ය. එසේ නැතිව, අවුරුදු දහයකින් හෝ පහළොවකින් ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව, ඩොලර් මිලියන හතලිහකට වඩා වැඩි මුදලක් ක‍්‍රීඩාංගනයක් ඉදිකිරීම සදහා වැය කිරීම නැවත වරක් මහේලගේ විවේචනයට ලක් විය.