පවතින තද වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්වයක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙහිදී ඇතිවිය හැකි වර්ෂාවේ තීව‍්‍රතාවය සහ ප්‍රමාණය මත ගංවතුර තත්වයේ ප්‍රබලතාව හා අවදානම රඳා පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අනුව මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, කිරම ඔය සහ ඌරු බොකු ඔය යන ගංගා ද්‍රෝණිවල පහත් බිම් අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතුයි.

මේ අතර ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නායයාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් පිළිබඳ අවදානය යොමු කරන ලෙසට මෙම දිස්ත්‍රික් දෙකෙහි ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 36 තුල දකුණ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි.

සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන් නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම හෙට දිනයේදී දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඌව සහ නැගෙනහිර ඇතුලු සෙසු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩු පීඩන තත්වයක් පවතිනවා.

එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එහි බලපෑම හේතුවෙන් අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වනවා.

දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40ක් 45ක් දක්වා වැඩි විය හැකියි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුලු සියලු ධීවර යාත්‍රා මුහුදු යාම අත්හිටවූ බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර, ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර තද සුළං ඇතිවිය හැකි බවටයි කාලගුණ අංශ රතු නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත්තේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි දැනුම්දෙන්නේ.

ගිණිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂිතයි.

මේ හේතුවෙන් ධීවර කටයුතුවල නිරත ප්‍රජාවට මුහුදු යාමෙන් වළකින ලෙසයි අන්තර්ජාතික ධීවර කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ආරියරත්න දැනුම් දෙන්නේ.

මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්වය ඉදිරි පැය 12 තුල එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.

එය හෙට වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි අතර මෙය 17 වන දින දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සහ 20 දිනවල උතුරට බරව ඊසාන දෙසට හැරී උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර නායයාම් අවදානම සහිත කඳූකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව ද සැලකිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර, ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා සියලූ පාර්ශව සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.

නාවික හමුදාව ප්‍රකාශ කළේ ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගඟ හරහා අඹතලේ ප්‍රදේශයෙන් වැලිකොට්ට යොදා ඉදිකර ඇති ලවන බාධකය මේ වනවිට ඉවත් කර ඇති බවයි.

බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් එම කටයුතු සිදුකර තිබෙනවා.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය සලකා බලා ආරක්ෂිත කඳවුරු ස්ථාපිත කිරිමේදී පෙර වසරවලට සාපේක්ෂව කඳවුරු සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේ.

එසේම, අද කොළඹ නගරයට ඇදහැලූණු අධික වර්ෂාපතනය හමුවේ කොටහේන, ආමර් වීදිය, මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවී තිබුණා.