රට තුළ කොවිඩ් -19 රෝගීන් වාර්තාවීම දිගින් දිගටම පහත වැටීම ​හේතුවෙන් නැවත මත්පැන් විකිණීමට සුරාසල්වලට අවසර ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන ඇත. මාසයක කාලයක් මුළුමනින්ම අගුළු දමා තිබුණු තායිලන්තය මේ වන විට කෙමෙන් දැඩි සීමා ඉවත් කරමින් සිටින අතර හදිසි නියෝග යටතේ තහනම් කර තිබූ මත්පැන් අලෙවිය මෙන්ම තවත් ව්‍යාපාර කිහිපයකටම අවසර ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ (03 වැනිදා) සිට තායිලන්තයේ සුරාසල්වල මෙන්ම පෙර පරිදිම බලපත්‍ර ලාභී හෝටල්වලද මත්පැන් අලෙවිය කළ හැකිය. එසේම ගුවන් ගුවන්තොටුපොළ, දුම්රිය ස්ථාන, බස්නැවතුම්පොළ, රෝහල්, අවන්හල් සහ වෙනත් වෙ​ළෙඳසල් විවෘත කිරීම සඳහා පනවා තිබූ දැඩි නීති ලිහිල් කර ඇත. මත්පැන් සම්බන්ධයෙන් ගත්කල ජනතාවට ඒවා මිලදී ගත හැකි නමුත් පානය කළ යුත්තේ සිය නිවස තුළදී පමණි.

තායිලන්තයේ ආපනශාලා විවෘත කෙරෙන නමුත් අවසර ඇත්තේ ආහාර ද්‍රව්‍ය රැගෙන යෑම සඳහා පමණි. එසේම සිල්ලර සහ තොග වෙළෙඳාමද දැඩි පාලනයකට යටත් කර තිබේ. කොණ්ඩා මෝස්තරකරුවන්ට සහ කරණවෑමියන්ට සිය​ සේවාවන් සැපයිය හැක්කේ නොම්බර ලබාදී වරකට එක් අයකු පමණක් සිය ව්‍යාපාර පරිශ්‍ර තුළට ඇතුළු කර ගැනීමෙන් පමණි.