මියන්මාරයේ රෝහින්ග්‍යා සරණගතයන් යැයි විශ්වාස කරන කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සිය ගණනක් රැගත් ධීවර යාත්‍රා කිහිපයක් මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අතරමංව සිටින බැවින් එම පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, ටිමෝර්-ලෙස්ටේ, තායිලන්තය සහ වියට්නාමය යන රටවල මුහුදු සීමාවලද මෙම පිරිස් අතරමංව ඇතැයිද කලාපීය ප්‍රකාශ සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව සහන සැලසිය යුතු බවට ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය එම රජයන් වෙත විවෘත ලිපියක් යවමින් ඔවුන් මේ බව පවසා ඇත.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ මෙම පිරිස භාර ගැනීම සෑම රටකින්ම ප්‍රතික්ෂේප වන නමුත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට වහාම කටයුතු කළ යුතු බව ඔවුහු එමගින් දන්වා ඇත.