දඩයක්කරුවන්ගේ ග්‍රහණයට හසුවී කිහිප වතාවක්ම ජීවිතය බේරා ගත් උඩවලව ඇත් අතුරු සෙවනේ වීරසිංහ තොටුපල ආසන්නයේ සිටි “පොකුණා ඇතා” නම් ඇත් පැටවා නැවතවරක් දඩයක්කරුවන්ගේ ග්‍රහනයට හසුව මියගොස් තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේදී උඩවලව ඇත් අතුරු සෙවනේ වීරසිංහ තොටුපල ආසන්නයේදී මෙම ඇත්පැටවාට දඩයක්කරුවන් විසින් වෙඩි තබා තිබුනේ මෙම ඇත්පැටවාගේ ආරක්ෂාව ගැන පරිසරවේදීන් අනතුරු අඟවා තිබුනු මොහොතකයි.

කෙසේ වෙතත් කිහිප වතාවක්ම දඩයක්කරුවන්ගේ ග්‍රහණයට නතුවුන මෙම ඇත්පැටවාට ප්‍රතිකාර කළ බේරා ගත්තද මෙවර එම ඇත් පැටවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව ලැබී නැහැ.

කෙසේ නමුත් වනජීවී දෙපාර්තුමේන්තුවේ බීට්ටු ඔෆිස් තුනක් ආසන්නයේම ඇති ආරක්ෂිතම තොටුපලක් වන වීරසිංහ තොටුපල අසල මෙවැනි සිදුවීම් සිදුවීමත් සමඟ අනිත් අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාධාරණ බියක් ඇතිවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කළේ මේ වන විට ඉහළ ගොස් තිබෙන වනජීවී අපරාධ අවම කිරීම සඳහා අධිතාක්ෂණික උපකරණ භාවිතයට කාලය එළඹ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ පරිසරවේදී නයනක රන්වැල්ල මෙලෙස ප්‍රකාශ කළා.