අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි සියලු මන්ත්‍රීවරුන් (224) එළැඹෙන සඳුදා (4 වැනිදා) අරලියගහ මැදුරට කැඳවා ඇත. විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් විමසීම එදින අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂය විසින් කරන ඉල්ලීම පිළිබඳව පෙරේදා (29 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.
කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ රැස්වීම සඳුදා (4 වැනිදා) දිනයේ සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (1 වැනිදා) සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණද මේ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද මෙම රැස්වීමට සහභාගි වීමට තීරණය කර ඇතිබව එම බලවේගයේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.

එක්ත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම රැස්වීම සඳහා සහභාගි වන බව එම පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.